තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත පෙබරවාරි හතර වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. රාජ්‍ය ආයතනවලින් ජනතාවට තොරතුරු ලබා ගැනීමේ හැකියාව මේ හරහා ජනතාවට ලැබී තිබේ. තොරතුරු අයිතිය ක්‍රියාත්මක වන අාකාරය පිලිබඳව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාව මෙසේ ය.

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය ක්‍රියාත්මක වන යාන්ත්‍රණය සූදානම් ද?

තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත පාර්ලිමේන්තුවේදි සම්මත වුනේ අගෝස්තු හතර වැනිදා.  ඒ පනතෙම සඳන් වෙනවා පනත සම්මත වී මාස හයක් ඇතුළත පනත ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න කියලා. ඒ අනුව පෙබරවාරි හතර වැනිදට මාස හය සම්පූර්ණ වෙනවා. අපි පෙබරවාරි තුන් වැනිදා ඒක ගැසට් කරනවා. අමාත්‍යංශ 51 න් ඊයේ වෙද්දි අමාත්‍යංශ 50ක තොරතුරු නිලධාරීන් තෝරගෙන තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමිනුත් දිසාපතිතුමන්ලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපි දැනට ඒ අය පුහුණු කිරීමේ කටයුතු සිදු කරගෙන යනවා. පෙබරවාරි හතර වෙනිදායින් පස්සෙ පනත ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

 

මේ සඳහා සියලුම මහජන ආයතන ගැසට් කරනව ද?

සියලුම රාජ්‍ය ආයතන මීට ඇතුලත් වෙනවා. ඒ වගේම මේ වන විටත් රාජ්‍ය ආයතන සෑහෙන ප්‍රමාණයක තොරතුරු නිලධාරීන් පත් කිරීමට හැකියාව තිබෙනවා. එම සියලු රාජ්‍ය ආයතන ගැසට් කරනවා. මහින්ද ගම්මන්පිල මහත්මයාගේ සභාපතිත්වයෙන් තිබෙන තොරතුරු කොමිසමේ සාමාජිකයින් එක්ව දැනට කටයුතු සකස් කරගෙන යනවා. උදාහරණයක් විදිහට තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය කෙනෙකු මුදල ගෙවිය යුතු වෙන්නෙ කොහෙටද, කොල කිහිපයක් සඳහා මුදල් අය කරන්නෙ කොහොමද වගේ කාරණා ඔවුන් සාකච්ඡා කරමින් තිබෙනවා. එම කරුණුත් හෙට අනිද්දා වන විට ප්‍රසිද්ධ කරනවා.

 

 පෙබරවාරි 04 වැනිදා තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම අභියෝගයක් නෙවෙයි ද? පුහුණුවීම් කටයුතු අවසන් කර නැහැ නේද?

මෙහෙමයි, පනත සකස් කිරීමයි පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ඉඳලම අපි සාර්ථකව එම කටයුතු සිදු කලා. අපි කල් ඇතිව මන්ත්‍රීවරු දැනුවත් කරලා ඔවුනට මේ පිලිබඳව හරි පැහැදිලි කිරීම් කලා. සියලු පක්ෂවල තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳව උනන්දුවක් දක්වන මන්ත්‍රීවරුන් එම වැඩමුළුවට ආවා පනත පාර්ලිමේන්තුවට ගේන්න පෙර සිටම. සැකමුසු තැන් වගේම ඔවුනට පැහැදිලි කරගත යුතු තැන් පැහැදිලි කරගෙන මන්ත්‍රීවරු 225ම කැමැත්තෙන් පනත සම්මත කර ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම හය මාසයක් ඇතුලත තොරතුරු දැන ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට අදාලව අනෙක් කටයුතු කිරීමේ අභියෝගය අපේ අමාත්‍යංශය බාර ගත්තා. මේ ක්‍රියාවලියත් එක්ක අපේ අමාත්‍යංශයේ කාර්යභාරයත විශාල වශයෙන් පුළුල් වුණා.

 

මිනිස්සු ඇවිත් ප්‍රශ්න ඇහුවොත් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙයි නේ ද?

ඔව්. නිලධාරීන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න බැඳිලා ඉන්නවා. ජනතාවට එය හුරු වෙන්න ටික කාලයක් ගත වෙයි. නමුත් වැඩේ පටන් ගත්තහම ටිකෙන් ටික ජනතාවට තේරුම් යයි මේ හරහා පුරවැසියන්ට මොන තරම් අයිතියක් ලැබෙනවද කියලා.

 

මේ හරහා රාජ්‍ය ආයතන ඇතුළත අලුත් සංස්කෘතියක් පෝෂණය වෙයි ද?

රාජ්‍ය ආයතනවලට මෙය අලුත් දෙයක් වෙනවා. විනිවිදභාවයෙන් යුතුව කටයතු කිරීම වගේම දූෂණ අවම කිරීමට මෙය ප්‍රබල හේතුවක් වෙයි.

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය නිසා රජයේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි තීරණ ගනු ලබන්නෙ රජයක අවසාන කාලයේදීයි. අවුරුදු දෙකක් ගත වීමටත් මත්තෙන් ආණ්ඩුව විනිවිදභාවයට පත් වෙනවා. ඒ පසුපස කතාව මොකක් ද?

 

බංගලාදේශය වැනි රටවල්වල පනත සම්මත වෙලා අවුරුදු පහක් විතර ගියා පනත ක්‍රියාවට නංවන්න. ඒ අනුව බොහොම කඩිනමින් බොහොම අපි මෙය ක්‍රියාවට නංවා තිබෙනවා.සාමාන්‍යයෙන් රජයක් මෙවැනි පනතක් ගේන්නෙ තමන්ගේ කටයුතු අවසන් වෙන වෙලාවට තමයි.  විනිවිදභාවයෙන් යතු පාලනයක් සහ යහපාලනයක් වෙනුවෙන් කටයුතු කරන නිසා අපට ඒ පිලබඳව අවංක වුවමනාවක් තිබෙනවා..

 

GSP ප්ලස් වගේ දේවල් ලබා ගැනීමේ ඉලක්කය ඇතිවද තොරතුරු අයිතිය දෙන්නෙ?

නැහැ කොහෙත්ම එවැනි අරමුණු මත නෙවෙයි මෙය ක්‍රියාත්මක වෙන්නෙ. GSP එකේ සම්බන්ධයක් මේ සඳහා නැහැ.

 

තොරතුරු නිලධාරීන් දහස් ගනණක් පුහුණු කරන්න අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය පෙබරවාරි වෙද්දි ජයගන්න පුළුවන් වෙයිද?

තොරතුරු නිලධාරීන් 40000ක් පමණ පුහුණු කෙරෙනවා. ඒ කටයුතු දැනටත් සිදු වෙමින් පවතිනවා.

 

මහජනතාව දැනුම්වත් කිරීම සඳහා වන සැලසුම් මොනව ද?

ජනමාධ්‍ය මගින් මහජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.  මේ කටයුත්ත කරගෙන යද්දි මෙහි ප්‍රයෝජනය මොකක්ද කියන එක ජනතාව අතරට යයි.

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත හරහා රටේ මොන වගේ වෙනස්කම් ඇති වෙයිද?

රටේ සිදුවන දූෂණ බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් වේවි. විනිවදභාවයෙන් යුතු පාලනයක් ගෙන යන්න පුළුවන්. ආණ්ඩුව වුනත් මේක ක්‍රියාත්මක වීමේදී වීදුරු කූඩුවකට ආවා වගේ වෙනවනෙ.

 

පෙබරවාරි 04 වැනිදා ඉඳන් තොරතුරු ලබා ගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කල හැකියි. ඒවාට පිලිතුරු ලැබෙන්න ගත වන කාලය කොපමණ ද?

පනතේ සඳහන්ව තිබෙන අන්දමට දින 14ක් තුල තොරතුර ලබා දිය යුතු වෙනවා.

 

රජයේ ප්‍රතිපාදන හැරුණුකොට වෙනත් අන්දමින් මූල්‍ය සහායයන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ද?

නොයෙක් විදේශ ආයතනවලින් අපිට තොරතුරු අයිතිය ක්‍රයාත්මක කිරීමේදී හොඳ සහයෝගයක් තිබෙනවා. මෙය ප්‍රචලිත කිරීමේ කටයුු සඳහා US Aid වැනි ආයතන බොහොමයක් සහාය දක්වා තිබෙනවා. ඔවුනගේ සහාය ඉදිරියටත් ලැබේවි කියලා අපේක්ෂා කරනවා.

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් පැන නැඟුනු බාධාවන් මොනව ද?

කිසිම බාධාවක් පැන නැඟුනෙ නැහැ.

 

තොරතුරු ලබා දීම සීමා කෙරෙන විධිවිධාන නවයක් පනතෙහි ඇතුළත්. මේ සීමා කිරීම් වැඩි නැද්ද?

දෙන්න පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියන එක ගැන පනතේ සඳහන් වෙනවා. රාජ්‍ය ආරක්ෂාවට තර්නයක් වන දෙයක් නම් තොරතුරු දෙන්න බැහැ. වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික තොරතුරු දෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුනත් අනෙකුත් රටවල්වල තොරතුරු පනත්වල දක්නට නොමැති ජනතාවට වැදගත් ප්‍රතිපාදනයකුත් මෙහි ඇතුලත් වෙනවා. එනම් තොරතුර ලබා නොදීමට වඩා තොරතුර ලබා දීමෙන් වන මහජන සුබසිද්ධිය, යහපත වැඩිනම් එම තොරතුර ලබා දීමට සිදු වෙනවා.

http://rtiwire.com/